Friday, September 10, 2021

සිරිතිලක

 ලයිෆ් ෆිනෑන්ස් කව්ද නොදන්නේ ...

ඒත් පුන්චි පුන්චි ප්‍රශ්න ලොකු ලොකූ ප්‍රශ්න වෙලා ඒක කඩන් වැටුනා. 

හිරුනි කරන්නාගොඩත් අවුරුදු ගානක් ඒකේ වැඩ කලා. 

 මානව සම්පත් නිලදාරිනී වුනේ හිරුනියි. අසරණ වුන සේවකයෝ අස්සේ හිරුනිත් හිර වුනා.


 එස්. ප්‍රනාන්දුපුල්ලේ  .....

අනේ අලුත් බයර් කෙනෙක් නේද?


හ්ම්ම්... අපේ ගැලවුම් කාරයා..

එයා කම්පැනිය ගන්නලූ යන්නේ. 


රස්සාව නැති වෙයි කියන බයෙන් උන්නූ සේවකයන්ට මේක හොඳ ආරංචියක් උනා. 


හිරුනි රස්සාවට ආවේ අවුරුදු විස්සෙන්. දැන් අවුරුදු 15ක එක්ස්පීරියන්ස් තියෙනව .


 කරන්නාගොඩලා කොහොමත් එක විදිහකට උන්නේ. හිරුනිගේ හිනාවෙත් ඒ ගතිය තිබුනා. 

හිරුනිගේ මංගල යෝජනාවල ඉස්සෙල්ලාම බැලුවෙ කුලේ . 

ඊට පස්සේ සල්ලි . අන්තිමටම පොඩ්ඩක් උඩින් තමා ඔය ගතිගුනද මොකද්ද බැලුවේ.


 ඉස්කෝලේ කාලෙත් හිරුනි ගේ තිබුනේ අමුතු ලස්සනක්. අමුතු ආඩම්බරයක් . කොල්ලෝ පස්සෙන් ආවෙ නැත්තෙ මොකෝ. 

හිරුනි එයාලට ඉස්සර වෙන්න දුන්නේ නෑනේ.  

ගොඩක් අය තරගය නිතරගෙන් අතඇරියා.

 සිරිතිලක පන්තියේ කැතම කොල්ලා. තාර කලුයි. දත් විතරක් සුදුයි. ඉත්තෑකූරූ කොන්ඩේ. 

ඉගනීමට හපනා. ශිශත්වය ඉහලින් කරගත්තු හින්දනේ හිරුනිලා ගිය ලොකූ ඉස්කෝලේ හම්බුනේ .


 සිරිතිලක හොරොව්පතානෙ. 

 කොලබ ඉස්කෝලේම නේවාසිකාගාරයේ සිරිතිලක උන්නේ. හිරුනිට බැරි ගනං ,පුලුවන් කලේ සිරිතිලක . 

සමානයි උත්තරය විසිඅටයි. ...........


ඔව් අනේ තෑන්ක්ස්. ................


එතනින් එහාට ගාන ඉවරයි. හැබැයි සිරිතිලකට ගාන ගුන කරන්නත් හිතුනා. 


සිරී තමුසේ හිරුනිට විතරද ටියුෂන් දෙන්නේ..? 

කොල්ලෝ ඇහුවා.

හිරුනි ගනං අහගෙන සිරිතිලකව ගනං ගංනැතුව උන්නා . 

මහ ගොඩේ නමක්.. හිරුනි හිනාවුනා. සිරිතිලකට දුක හිතුනා. පපුව විතරක් ඇඩුවනම් මදෑ. ඇසුත් ඇඩුවනේ.


 හිරුනි සුදුයි.

සිරී උබේ කලු ගෑවෙයි

 ඔය මැනිකෙගේ


"අනේ මේ ඒක මං බලාගන්නං"


 වගේදෙයක් ඒ වෙලාවට හිරුනි කියයි කියලා සිරිතිලක කොඉතරං බලං උන්නද.

"හිරු උබට සෙට් වෙන්නෑ බං උබට පුලුවන්ද හද අල්ලන්න ".........


කොල්ලෝ කාන්ඩේ සිරිතිලකට හිනාවුනේ හිරුගේ ආඩම්බර බලබලත් පස්සෙන් යන හින්දයි.


"හරි බන් අහසට ගිහිල්ලම හද අල්ලන්න ඕනේ නෑනේ .. මං වතුර බේසමකට හෙවනැල්ල හරි අරං අල්ලනවා"..........

.. හිහි පිස්සා... 


උසස් පෙල ඉවර වුනු දා හිරුනි ගෙ ගෙදර යාලුවන්ට පොඩි පාර්ටියක් තිබ්බා . 


"ඒයි සිරී පිරිමියෙක් වගේ එදාටවත් හිරුනි ගෙන් අහපං.".........


"හිරු මං ඔයා ගැන බලාපොරොත්තු තියා ගන්නද ".........? 


එදා කලුවරේ පදුරක් අස්සේ ස්ප්‍ර්රයිට් බොද්දි සිරිතිලක හිරුනි ගෙන් ඇහුවා.

මහා ලොකූ ගෙයක් නොවුනත් ලස්සන,

 උතුරන්න සල්ලි නොතිබ්බට සිරිතිලකට ලං වෙන්න බැරි,

 ඉංග්‍රීසිම කතා නොකර අතර මැද සිංහලත් කතා කරපු ,

හිරුනි ගේ පව්ල, ....

මීගමුවේන් හොරොව්පතානට  පරම්පරා ගානකට කලින් ගාටපු, සේතංඅප්පු ප්‍රනාන්දුපුල්ලේ පව්ල අහසට පොලව වගේඋනා. 


"ඔයාගේ අහිංසක කමටයි, අවංක කමටයි මං හරි ආසයි සිරි"...........


 වගේ දෙයක් කියයි කියයි කියලා බලං උන්නූ සිරිතිලකට

 ""ප්ලීස් සිරී , මගේ තිබ්බේ යාලු කමක් අනික ..  . අහ් අනේ අනේ ප්ලීස් අනේ මට වද කරන්න එපා. ".........


ඇත්තද එහෙනං මටද වැරදුනේ.. 

ඔව් මං ගොඩේ හිගන්නා 

හරි හිරූ බලමූ මං උබට හැමදාමත් ආදරෙයි උබ මාව ඊලග පාර දකින්නේ මෙහෙම නෙමේ.. . 

සිරිතිලක ගේ පිහි ඇනුම් කාපු හිත මොර දුන්නා .... 

....................

තද මෙරුන් පාට බතික් ඔසරි‍යේ සත විසිපහේ සයිස් රෝස මල් ඉහිරිලා ගිය මෝස්තරයකින් හිරුනි හැඩ උනා. 

අද අලුත් චෙයාර්මන් එන දවසයි.

උත්සව සබාව මීයට පිම්බා වාගෙයි. ගැට බෙර හඩ මැද්දේ කලු පාට දිලිසෙන බෙන්ස් රතයෙන් බැස ,

මේ සබාව අමතන්න එන්නේ ලයිෆ් ෆිනෑන්ස් අයිතිකාරයයි

ආයුබෝවන් ඔබ සැමට.......

ලයිෆ් ෆිනෑන්ස් ශාකා ජාලයේ සේවකයන් 678 දෙනාව මං අද බේරගත්තා.

ශාලාව පිරෙන්නට අප්පුඩි හඩ රැව් දුන්නා. සේවකයන්ට ටික වෙලාවක් සතුට විදින්න දුන්න ඔහූ ආයෙත් කතාව පටං ගත්තා.. 

හැම බිද වැටීමක්ම නැගිටීමක් කරගමු.හැම ප්‍රතික්ෂේප කිරීමක්ම අවශ්‍යතාවක් කරගමු.අද වෙනකොට ලයිෆ් ෆිනෑන්ස් ආයතනය හැමෝම ප්‍රතික්ෂේප කරපු ආයතනය ක් වෙලා. හැබැයි මං ඒක ආපහු හැමෝගෙම අවශ්‍යතාවක් කරනවා. 

ශාලාවේ ආපහු අප්පුඩි හඩින් පිරුනා.


 මං ඔයාලට පුන්චි කතාවක් කියන්නං. මගේ නම සිරිතිලක ප්‍රනාන්දුපුල්ලේ .


 හිරුනි ගැස්සුනා . දෙවියනේ මේ සිරිතිලක ?.......

ඔව් ,, පුදුම වෙන්න එපා. මට තාමත් වයස තිස් පහයි. 

ගම හොරොව්පතානෙ . 

තාත්තා සේතංඅප්පු ප්‍රනාන්දුපුල්ලේ . අම්මා කොඉන්මැනිකා . 

ඉතිං මගේ නම රොශාන් අශේන් වගේ වුනොත් නේද පුදුම වෙන්න ඕන...


ශාලාවම හිනා හඩින් පිරුනා ...


කිසිම කෙනෙක් හමේ පාටිං ගමේ නමින් පුද්ගල නමින් මනින්න එපා. 

මං ශිශත්වය ඉහලින් පාස් වෙලා කොලබ ඉස්කෝලේට ආවා.

 අපේ තාත්තා බඩඉරිඟු විකුනලා අපිට ඉගැන්නුවා . 

මගේ අම්මා තාත්තා දෙන්නම ලියන්න කියවන්න දන්නේ නෑ. 

මං පංතියේ හිටපු ලස්සනම ගැහැනු ලමයට ආදරේ කලා. උසස්පෙල ඉවර වුනු දවසේ මං ඒ ගෑනු ලමයට ආදරෙයි කිව්වා . 

ඔව්... ඔයාලා හිතුව හරී. 

මං ගොඩේ දුප්පත් කලු කැත කොල්ලෙක් . 

මාව එදා /හිගන්නෙක් විදිහට ප්‍රතික්ෂේප උනා. 

මගේ මුලූ ලෝකෙම වෙලා උන්නේ ඒ ගෑනු ලමයා. ...........


ඒ ප්‍රතික්ෂේප වීම මගේ හැරවුම් ලක්ශය වුනා. 


හිරුනී කදුලූ කොහොම හංගන්නද...

ඉස්සරහාම පුටු පේලියේ උන්නූ හිරුනි

අසරන උනා පුදුම විදිහට.


මං විශ්වවිද්‍යාලයීය සිසුවෙක් උනා. මගේ අක්කාට හොදට අදින්න පුලුවං.මං පිටකොටුවෙන් සුදු කපු ශර්ට් තොග මිලට අරං අක්කා ලවා ලස්සන චිත්‍ර ඒ ශර්ට් වල ඇන්දෙව්වා. කැම්පස් ලමයි අතරේ ඒ ශර්ට් ඉක්මනට අලවි වුනා. 

අක්කා හොරොව්පතානෙ . මං මෙහේ. මං අක්කව මෙහේ ගෙන්න ගත්තා. මෙහේ පොඩි කාමරයක වැඩේ කරං ගියා. ටික ටික ඕඩර්ස් වැඩි උනා. තව ලමයෙක් දෙන්නෙක් චිත්‍ර අදින්න එකතු උනා. 

ඒ ඔයාලා හැමෝම දන්න 

සිරිති ගාමන්ට්ස් වල උපතයි. 

අද සිරිති ෆැශන් වැඩිපුරම විකිනෙන්නේ අමරිකාවට . 

මගේ උපාධිය ව්‍යාපාර කලමනාකාරනයයි. 

එදා මං ගියේ ආවෙ බස් එකේ. 

පාගන බයිසිකලයක් වත් තිබුනේ නෑ. ඒ වේදනාව ,අද සිරිති ට්‍රේඩර්ස් විදිහට මුලු ලංකාවටම වාහන ගෙන්වනවා.


 එදා අපේ තාත්තාලා වවපු බඩඉරිඟු කව්පි මුංඇට විකුනගන්න බැරුව දහදුක් වින්දා   . 

ඒ දුක, අද ඔයාලා හොය හොයා  ලමයිට කන්න දෙන සිරිපෝශ වල උපතයි .

සබාවේ ලොකූ කුටු කුටුවක් ඇහෙන්න ගත්තා. 


ඔව්.. සිරිපෝශ කම්පැනියත් මගේ තමයි. අද හොරොව්පතානෙ විතරක් නෙමේ ලංකාවේම මුං කව්පි බඩඉරිඟු මිලදී ගන්නේ අපි.

මිත්‍ර වරුනි...

එක ප්‍රතික්ෂේප කිරිල්ලක් ගියපු දුරක් නේද?...

හිරුනි ඇරෙන්න මුලු ශාලාවම අත්පොලසන් දුන්නා . 

අද ලයිෆ් ෆිනෑන්ස් අලුතෙන් අපේ ජාලයට එකතු වෙනවා. 

මං දන්නේ නෑ දැන් ඒ ගෑනු ලමය කොහෙද කියන්න. මොනවා උනත් ඒ ගෑනු ලමයා එදා මාව ප්‍රතික්ෂේප නොකලානං ........

මොනව වෙයිද?..........


ඒ හින්දා කඩාවැටීම් ප්‍රතික්ෂේප කිරීම් ජීවිතේට ශක්තියක් කරගන්න..

පුන්චි පුන්චි දේවල් වලින් ලොකු ලොකු ව්‍යාපාර අවස්තා අත්දකින්න පුරුදු වෙන්න .

අද ඉදං අපි ලයිෆ් ෆිනෑන්ස් ගොඩගමු . මං පාර පෙන්නංනං. 


හැමෝගෙම මූනු හිනාවෙන් පිරිලා තිබුනා  . 

දෙයියනේ ..මං කොහොමද සිරිතිලක ගෙ මූන බලන්නෙ........  

හිරුනිගේ හිත අඩා වැටුනා. 

එදා ලොකුකං පාලා ඒ අහිංසකයා එලව ගත්තා. අද එයා ලගම රස්සාව කරන්නෙත් වෙලා. 

උත්සවයෙන් පස්සෙ නිලදාරී මන්ඩලයට රැස්වීමක් තිබ්බා . ලංකාවේම ශාකා වල කලමනාකාරින් වගේම මානව සම්පත් නිලදාරිනුත් රැස්වීමට එකතු උනා. හිරුනි හිතලම වාඩි උනේ පිටිපස්සෙන්. ආයතනය ආපහු ගොඩගන්න ක්‍රම කෝටියක් විතර සිරිතිලක කියාගෙන කියාගෙන,ගියා . 

දෙයියනේ සිරිතිලක හරි දක්ශයෙක් .එදා ඇයි මං සිරිතිලකට එහෙම කලේ.?

 ප්‍රනාන්දුපුල්ලේ කිව්වම ඉතින් රෙදි හෝදන කුලේනේ. 

ශික් මං වගේ මෝඩියක් .. අද කාලේ කොහෙද ඕවා. 

ඔව් ඉතින් .. ඌ දැන් ඉන්න තත්ත්වයට උබ පෙරේතයි නේද .. 

ශික් ... වැඩේමයි.....

හිරුනි ගේ හිත හිරුනිත් එක්කම ලොකූ වාදෙක ........

ඉතිං මිත්‍ර වරුනී ඔයාලගේ හැම බ්‍රාන්ච් එකකටම මං එනවා.. සර්කියුලර්ස් ඔක්කොම අද අරං යන්න 

බ්‍රාන්ච් මැනේජර්ස් ප්ලීස් ගෝ විත් යුවර් ගෝල්ස්.. 

හියුමන් රිසෝස් මැනේජර්ස් ප්ලීස් කන්ට්‍රෝල් යුවර් සබෝඩිනේටෙර්ස්

ඒදා රැස්වීම ඉවර වෙලා යද්දි හිරුනි හිත ඇතුලෙන් වාද පිටියක උන්නේ. දවස් දෙකක් හිතත් එක්ක ලොකූ සටනක් හිරුනි කලා. අන්තිමේ හිත දින්නා. හිරුනි පැරදුනා. 

............................

මට මිස්ට සිරිතිලක ප්‍රනාන්දුපුල්ලේ හම්බවෙන්න පුලුවන්ද?.........


 කියලා හිරුනි ඇහුවේ පිට්ටු බම්බු බිල්ඩින් එකේ විසි හත් වෙනි තට්ටුවේ තියෙන ලයිෆ් ෆිනෑන්ස් ප්‍රධාන ශාකාවට ගිහිල්ලයි. 


එපොඉන්ට්මන්ට් එකක් දැම්මද? 


එපොඉන්ට්මන්ට් ? 

හහ්... ඒ මොකටද  සිරිතිලක මගේ පස්සෙන් ආවේ ඉස්කෝලේ කාලේ ඉදන්.....

 මේ කජු කිරි කෙල්ලෝ මොනවද අපි ගැන දන්නේ?............


හිරුනි ගේ හිත මොර දුන්නට සද්දේ පිට උනේ නෑ.


"නෑ එපොඉන්ට්මන්ට් එකක් නම් නෑ.""


මිස්ටර් සිරිතිලකට කියන්න හිරුනි කරන්නාගොඩ ඇවිත් කියලා .........


සිරිතිලක කෑ ගහනවට වඩා පොඩ්ඩක් හෙමින් 

"හෙලෝ හිරුනි මයි ගෝඩ් ඔයා.....

ඉතිං..... කම් කම් ටේක් අ සිට් "

.....

සම්පූර්ණයෙන් කාමරය කලු තීන්ත ගාලා. ලොකූ නැවක් කුනාටු පිරුනු මුහුදේ අමාරුවෙන් යන අතින් ඇන්ද පින්තුරයක් පැත්තේ බිත්තයේ තිබුනා.පුන්චි සුදු ලයිට් එලි වලින් කාමරේ එලිය වුනා.


සිරිතිලක ... මට සමාවෙන්න 

එදා ඔයා කතාව කරද්දී මං හරියට අසරන උනා. ........

තවත් ලොකූ දෙයක් කියන්න හිරුනිගේ හිතේ තිබ්බත් උගුර හිර වෙන ගතියක් දැනුනා. 


"ඒ කතාව ඔයාව රිදවන්න කියපු දෙයක් නෙමේ. හිත රිදුනනං සමාවෙන්න හිරුනි . අපේ සේවකයන් ගේ හිතට හයිය හැගීමක් ගේන්නයි මං ඒ කතාව කලේ.".........

 

"ඉස්සර මගෙන් ඔයාට ලොකූ වැරැද්දක් උනේ. ".........


පුන්චි හිනාවකින් ලස්සන උනු සිරිතිලකගේ මූන හිරුනි දිහාම බලං උන්නා .

" ඒක වැරැද්දක් වෙන්නේ හිරුනි , මං එදා වරද්ද ගත්තනං.

එදා ඔයා මට වැහිලා තිබුනූ පාරක් පෙන්නුවා. ".........


ඉස්සර ඒවා අපි අමතක කරමු සිරි,

දැන් ඉදං මං ඔයත් එක්ක මේ ගමන යන්න එන්නං කියලා කියන්න හිරුනි ගෙදරින් හොදට පුරුදු වෙලා ආවෙ. 


සිරිතිලක මේ...........


ලස්සන සංගීතයෙන් හැඩ උනේ සිරිතිලකගේ ජංගම දුරකථනයයි .


හිරුනි එක්ස්කියුස් මී..


පුටුවෙන් නැගිට්ට සිරිතිලක විශාල තිර රෙද්දෙන් වහලා තිබ්බ ජනේලය ගාවට ගියා. 

තාමත් ඉදගෙන හිටිය හිරුනිට මෙච්චර වෙලාවක් සිරිතිලකට ත් සිරිතිලකගේ පුටුවටත් වැහිලා තිබුනූ පුන්චි පින්තූර එකතුවේ වීදුරු පෙට්ටිය පෙනුනා ... 


සිරිතිලක සම්මානයක් අරං හිනාවෙලා ඉන්න එක මැද්දෙන් තිබ්බා .

ඊට යටිං ලස්සන සුද්දියෙක් සිරිතිලක වගේම කලු පැටියෙක් වඩං ලස්සනට හිනාවෙලා උන්නා . ඒ දෙන්නව තුරුල් කරං සිරිතිලක ලොකු හිනාවක උන්නා .

හිරුනි ගල් වෙලා පින්තූර දිහා බලං උන්නා   . සිරිතිලක තාමත් ලොකූ කතාවක උන්නා .

       කියන්න ගිය දේ නොකියවුනු එක ගැන හිරුනි දහස්වාරයක් සැනසුනා................

3 comments:

  1. මරු කතාව🤗👌
    වැදෙන්න ඕනලු හරි යන්න......

    ReplyDelete
  2. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දක්වාඇත! "කැටපත් පවුර" කොලමේ දක්වා ඇත! දැනට නොලියවෙන බ්ලොග් 848 ක් ඇතුළුව බ්ලොග් 1140ක් කරා යොමුවිය හැකි අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුලින් ප්‍රචාරයක් ලබා දෙන්නේනම් එය අපට මහත්වූ උපකාරයක් සේ දැනේ!

    ReplyDelete
  3. හොඳයි.
    අංතර්ගත පණිවිඩය වැදගත්.
    පුංචි කාරණයක්.
    වාසගමක් එක්ක කුලයක් ගැන කියැවෙන කොටස කුලය ඉස්මතු නොවන අයුරින් කියැවුනා නම් වඩා හොඳයි. මොකද දන්නවද. මේක කියවන අය අතර ඒ වාසගම තියෙන අය ඉන්න පුලුවන්. ඒ විතරක්ද.
    කියවන අය දන්න හඳුනන අයත් ඉන්න පුළුවන්. ඉතින් එතනදි ඒ අය පත්වන අපහසුතාවය තේරුම් ගන්න පුළුවන් කියල හිතනවා.
    හැකිය නම් පෙලපත් නාමය ඉවත් කරන්න.
    තීරණය ඔබේ.
    ස්තූතියි.
    තව ලියන්න.
    මම
    D'pal Koggalahewa
    D'pal khewa Paththininge
    D'pal khewa
    18.42
    06.04/023


    ReplyDelete

හිතට දැනෙන දේ කියලා යන්න