Sunday, September 5, 2021

කොච්චර ආදරයක් ඇද්ද...

 



ආ.අ..හ් මැඩම් අද ලස්සනයි .

අපේ ඔෆිස් එකේ සේරම වනිගසූරිය මැඩම් එද්දි කෑ ගැහුවා . අදනං ෆුල් මේකප් එකක් දාලා කියලා රංග හිනාවෙවී ෆයිල් ටික ගොඩ ගැහුවා. වනිගසූරිය මැඩම් හිනා වෙවී එයාගේ කැබින් එක ඇතුලට ගියේ අනේ මේ කොලු කෙලි රැල කියනවා වගේ.
ඔය හුග දවසකට පස්සේ නේද මැඩම් මේකප් එකක් දාලා ආවේ..
ජානකී අපේ මේසේ ගාවින් නැවතිලා කිව්වා .
ඇත්තටම මං මේ ඩිපාර්ට්මන්ට් එකට ඇවිත් තාම මාස තුනයි. ඒ වුනාට වනිගසූරිය මැඩම් ට හැමෝම ආදරේ බව නම් දන්නවා . එයා බොහොම නීතිගරුක රාජ්ය සේවිකාවක්. ඒයා යටතේ වැඩ කරපු හැමෝටම බොහොම කරුනාවන්ත උනා. මෙච්චර දවසකට මාත් දැකලා තිබ්බේ නැති ඒ මේකප් කිරිල්ල ගැන විස්තර අහගන්න ගෑනු මගේ හිතත් ආසාවෙන් පිරුනා.
හැබැයි මැඩම් ලස්සනයි අනේ..
කියලා මාත් කතාවට එකතු උනා.
හ්ම්.. හස්බන් ගිය සතියනේ රට ඉදං ආවා කිව්වේ ... මේකප් සෙට් එහෙම අලුතෙන් ගෙනත් නැතෑ.. කියලා චමරි හිනාවුනා.
ඇත්තටම .. මැඩම් පව් ශිරො හස්බන් රට ගියා විතරයි ඔය මේකප් සේරම නැවැත්තුවනේ.. පව්... කොච්චර ආදරයක් ඇද්ද...
මටත් ඒ කතාව අහන් ඉන්න ආස හිතුනා. හස්බන් ලා ඉන්න කොටත් පිස්සු නටන ගෑනු ඉද්දි හස්බන් රට ගියාම මේකප් කිරිල්ල පවා නවත්තන අයත් ඉන්නවා එහෙනම් කියලා තාම බැදලා නැති මට හිතුනා.
හස්බන් බනින්න ඇති ඔයාට ගෙනත් දීලත් ගාගෙන යන්නෑ කියලා ..
අපි ටික කිචි කිචි ගෑවට එතන උන්නු හුගක් ගෑනු තම තමන්ගේ හස්බන් ලට හිතෙන් හොදටම දෙහි කපන්න ඇති.
මැඩම් ගේ කාමරේට මට එදා යන්න උනේ ෆයිනල් රිපෝර්ට්ස් වගයකට අත්සන් ගන්න තිබ්බ හින්දයි . හවස තුනහමාර වෙනකං රිපෝර්ට් ට්ක හදාගන්න මාර මහන්සිය ක් උනේ. ඉක්මනින් මැඩම් ගේ කාමරේට ගියේ මැඩම් හය වෙනකං ඔෆිස් එකේ උන්නට අපි ඉතිං හතර වෙද්දී යන්න ඕනේ හින්දයි.
ආ .. ප්රියා.. කම් කම්..
මැඩම් දීසා ද ෆයිනල් රිපෝර්ට්ස් ෆො වෝටර් රිසෝස් ප්රොජෙක්ට්. කැන් යු චෙක් දිස් මැඩම් ...
කියන ගමං මං රිපෝර්ට් ෆයිල් එක මැඩම් ට දුන්නා . මැඩම් කන්නඩි දෙකත් හදාගෙන ෆයිල් එකට සම්පුර්ණ අවදානම දෙන ගමන්ම
ටේක් අ සිට් ප්රියා ..
කියලා අතින් පුටුව පෙන්නුවා. ඉදගත්තු මං මැඩම් ට හම්බවෙච්ච සම්මාන දිහා බලන ගමන් මැඩම් ගේ කරාබු දෙක දිහාත් බැලුවේ ඒක ලස්සන හින්දා . විදිල්ලක් වගේ මං දැක්කේ උදේ දාගෙන ආපු මේකප් හේම වෙලා ගිහිල්ලා තිබුනු මැඩම් ගේ මූනේ රතු පැල්ලමක්.
දෙයියනේ මැඩම් මේකප් ඇලජි එකක් වගේ කියන්න කට හදාපු මං ඒ ඇහිල්ලේ දැක්කේ ඒ රතු පැල්ලමේ තිබුනු ඇගිලි පාරවල් වගයක්. මගේ උගුර හිර උනා.වචන පිට උනේ නෑ. මදු මාලතී රාගයේ ආලාප ස්වර වගයක් ඈතින් කව්රු හරි ආලාප කරනවා වගේ ඇහුනා.
ඕ..කේ ප්රියා.. වෙල් ඩන්..
කියලා මැඩම් කියද්දිම මාව ගැස්සුනා .
තැන්ක්යු මැඩම්...
කිව්වේ මං හීනෙන් වගේ
කැබින් එකෙන් එලියට ගියේ කොහොමද කියලා මතක නෑ. මගේ සීට් එකේ ඉදගත්ත මං නොදැනම අඩලා තිබුනා.
දෙයි හාමුදුරුවනේ ..... මට චමරි ගේ කතාව දෝංකාර දිදී ඇහුනා. ,, හස්බන් රට ගියත් හරි මැඩම් මේකප් කිරිල්ල පවා නැවැත්තුවනේ .... අහ්... ගිය සතියේ ආවා කිව්වනේ....
මාව සීතල උනා.

No comments:

Post a Comment

හිතට දැනෙන දේ කියලා යන්න