Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Sunday, September 5, 2021

රඝුනාදන්

 



නාදන් රඝුනාදන්... මට ගොඩක් දවස් වලට එයාව මතක් වෙනවා. එතකොට උතුරේ කලබල පටන් පටන්ගත්තු අළුතම වගේ .අපි හිටියේ පේරාදෙණි විශ්වවිද්යාල යේ.විශ්වවිද්යාලයේ හැමදාම හැන්දෑවට වලේ පෙන්නන නාට්ය බලන්ඩ අපි දෙන්නා අත් අල්ලගෙන යන්නේ. රඝුනාදන් තමා මුලින්ම මට කියලා දුන්නේ ආදරේට පාටක් නැහැයි කියලා .

මෙච්චර දවසක් මං හිතාගෙන හිටියේ අපේ ආදරේ සිංහල පාටයි ..රඝුනාදන් ලගේ ආදරේ දෙමළ පාටයි කියලා..
ඒ උනාට පුංචි පුංචි හිනාවන්, පුංචි පුංචි කතා වල් ,පුංචි පුංචි ඇහි පිල්ලම්, පුංචි පුංචි බැල්මවල්, අවසානයේ මට තේරුම් කෙරෙව්වා රඝුනාදන් කිව්වේ ඇත්ත කියල.
පුස්තකාලයේ දී රඝුනාදන් හම්බවෙනකම් මං මග බලාගෙන හිටියා . හොඳට ඉංග්රීසි පුළුවන් රගුනාදන්ට .සාමාන්ය ඉංග්රීසි වලට වඩා සාහිත්යය ඉන්ග්රීසි බොහොම ලස්සන ට පුලුවන් . මං ගොඩක් දේවල් අහගත්තේ එයාගෙන්.ගුරු ගීතයේ අල්තිනායි වගේ අන්තිමට සිද්ධ වුණේ මං එයාට ආදරෙන් පිස්සු වැටිච්ච එක. රඝුනාදන් ගේ ගම යාපනය. ගිහිල්ලා එනකොට හැමදාම කොට්ටකිලංගු, තල් හකුරු ,මෝරු මිරිස් ගේනවා.ඒවා කන්න අපේ හොස්ටල් එකේ ළමයි බලාගෙන ඉන්නවා.
එයා කළුයි කෙට්ටුයි . කතා කරනවා ලස්සනට සිංහල. කොහොම හරි අපේ ගෙවල් වලින් මේ සම්බන්ධෙ දැන ගත්තට පස්සෙ ගොඩක් කරදර පටංගත්තා.තාත්තා කිව්වා රගුනාදන් ගෙදෙට්ට ගෙනාවොත් එයා එල්ලිලා මැරෙනව කියල. අම්මා කිව්වා තාත්තගේ වලටම එයත් පැනලා මැරෙනවා කියලා. ඒ හින්ද මට අමාරුවෙන් හරි රගුනාදන්ට මේ ඇත්ත විස්තර කියන්න සිද්ධ වුණා. එදා හැන්දෑවෙ වලේ පෙන්නුවෙ සරත්චන්ද්ර මහත්තයාගේ මනමේ නාට්යය. ඒක බලලා ඉවර වෙලා අපි උඩට එන්න හදනකොට මුළු කැම්පස් එකේම ලයිට් ගියා මතකයි . ඊට පස්සේ හඳ පායලා තිබුනා. එදා රෑ හරිම ලස්සනට පේන්න පටං ගත්තා. කලින්දා වැහැපු මහ වැස්සට කණාමැදිරියෝ රොතු හැමතැනම පියාම්බ පියාම්බ තිබුනත් මට මතකයි .නාදන් මට කිව්වා මේ කලාමැදිරි එකතු කරලා කරලා බෝතලේකට දාල ඉස්සර එයාලගේ ගේ ඇතුලෙ තියෙනවාලු. එයාලා හැමදාම ජීවත් වෙලා තියෙන්නේ කුප්පි ලාම්පුවේ එලියෙන්.
එයාලගේ හරි ප්රධාන කෑමක් තමයි වම්බටු වෑංජනේයි මිරිස් බැදලා යි බතුයි. මං නං කිව්වේ මටනම් යාපනේ ආවහම ඕව කන්න බැහැයි කියලයි. එතකොට එයා හිනා උනා. හිනාවෙලා මගේ ඔළුව අතගෑවා .මට හොඳට මතකයි එදා හැන්දෑවේ හරියට රොබරෝසියා මල් වැටිල තිබුණා. ඒවා රෝස පාටයි. එයින් එකක් අහුලලා මගෙ කණ පිටිපස්සේ ගැහුවා මට අද වගේ මතකයි.
තාමත් සමහර දවස් වල හැන්දෑවට මට කණ පිටිපස්සේ රොබරෝසියා සුවඳක් එනවා. මේ හැම විස්තරයක්ම දන්න ගිම්හාන මට හිනා වෙනවා .එහෙම වෙන්නේ මානසික රෝගයක් තියෙන මිනිස්සුන්ට කියලා .
වෙන්න ඇති ...මගේ හිතේ මහා ප්රමාණයක් රගුනාදන්ට වෙන්වෙලා තිබුණා. හැබැයි ඒ අතීත සිද්දි හැම දෙයක්ම ගිම්හාන දැනගෙන හිටියා. නාදන් හැමතිස්සෙම කතා කළේ දෙමළ බෙදුම්වාදයන් සාධාරණයි කියලා. එයා ඉදිරිපත් කරපු පළවෙනි තර්කය තමයි ඔයාගෙ ගෙදරින් ඇයි මාව පිළිගන්න සූදානම් නැත්තෙ කියන එක .මටත් දෙන්න උත්තරයක් තිබුන් නෑ එහෙම අහන වෙලාවට .මොකද එයාලගෙ ගෙදරින් ලොකු ප්රශ්නයක් තිබුණේ නැහැ.
මම විශ්වාස කරන ගණ දෙවියන්ට ඔයාට අත් දෙක අල්ලලා වඳින්න පුළුවන් නම් ඔයා විශ්වාස කරන බුදුහාමුදුරුවන්ට මට අත් දෙක අල්ලලා වඳින්න පුළුවන් නම් තවත් මොනවද කියලයි රඝුනාදන් හැමතිස්සෙම ඇහුවේ.
1990 මාර්තු 3 වැනිදා රඝුනාදන් පුරුදු විදිහටම මගේ ඔළුව අතගාලා යාපනය යන්න බස් එකට නැග්ගා .ඉක්මනට ලියුමක් එවන්නං කියලා ගියාට ගියා ගියාමයි නාදන්ට වෙච්චි දෙයක් නැතිවුණා.මං පිස්සියක් වගේ නොකා නොබී අඩනකොට ගිම්හාන ම තමයි එයාගේ වාහනයේ මාව දාගෙන යාපනයේ රඝුනාදන් ලග ගෙදර යන්න පිටත් වුනේ .
මම සැක කරපු විදියටම රගුනාදන් මාව අමතක කරලා දෙමළ විමුක්ති සංවිධානයට බැඳිලා තිබුණා .රඝුනාදන් ගේ තාත්තා හරි අහිංසකයි. හරියට මගේ අත්දෙක අල්ලාගෙන ඇඬුවා ළමයව වෙනස් කළේ දෙමළ සංවිධානය මිනිස්සුයි කියලා .
ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ගිම්හාන මගෙන් ඇහුවා තමුසෙ තාමත් රගුනාදන්ට පිස්සු වැටිලද ඉන්නේ කියලා.සිංහල ගෑනියෙකුට පලු පැලෙන්න ආදරෙයි කිය කියා සිංහල මිනිස්සුන්ව මරන්න පුළුවන් සංවිධානයකට රඝුනාදන් බැඳුනේ මොන හිතකින්ද කියලා ගිම්හාන මගෙන් ඇහුවා . සේර මල්ල ම එකතුවෙලා ඇහුවේ මට උත්තර දෙන්ඩ බැරි ප්රශ්න .
අවසානයේ මමත් ගිම්හාන ට හා කිව්වා.දැන් ඒ සිද්ධි වෙලා අවුරුදු විසි පහකටත් වැඩියි රගුනාදන්ට මොනව වුණාද කියන්න මම දන්නෑ. මම ගිම්හානත් එක්ක කැනඩාවට පදිංචියට ආවා .මම ගිම්හාන උනාට වුණාට තමුසෙගේ ජීවිතයට වසන්තය ගෙනාවයි කියලා ගිම්හාන අදටත් කියනවා .කොයිතරම් වසන්තයක් ගෙනල්ලා තිබුනත් අතීතය හැමතිස්සෙම මට ගෙනල්ලා දීලා තිබුණෙ වහගන්න බැරි ලැජ්ජාවක් .
මට එකම එක පාරක් , එකම එක පාරක්, එකම එක පාරක් අහන්න ඕන රඝුනාදන්ගෙන්
ඇයි ..මට ..
මෙහෙම ...
කලේ .....කියලා.

කොච්චර ආදරයක් ඇද්ද...

 



ආ.අ..හ් මැඩම් අද ලස්සනයි .

අපේ ඔෆිස් එකේ සේරම වනිගසූරිය මැඩම් එද්දි කෑ ගැහුවා . අදනං ෆුල් මේකප් එකක් දාලා කියලා රංග හිනාවෙවී ෆයිල් ටික ගොඩ ගැහුවා. වනිගසූරිය මැඩම් හිනා වෙවී එයාගේ කැබින් එක ඇතුලට ගියේ අනේ මේ කොලු කෙලි රැල කියනවා වගේ.
ඔය හුග දවසකට පස්සේ නේද මැඩම් මේකප් එකක් දාලා ආවේ..
ජානකී අපේ මේසේ ගාවින් නැවතිලා කිව්වා .
ඇත්තටම මං මේ ඩිපාර්ට්මන්ට් එකට ඇවිත් තාම මාස තුනයි. ඒ වුනාට වනිගසූරිය මැඩම් ට හැමෝම ආදරේ බව නම් දන්නවා . එයා බොහොම නීතිගරුක රාජ්ය සේවිකාවක්. ඒයා යටතේ වැඩ කරපු හැමෝටම බොහොම කරුනාවන්ත උනා. මෙච්චර දවසකට මාත් දැකලා තිබ්බේ නැති ඒ මේකප් කිරිල්ල ගැන විස්තර අහගන්න ගෑනු මගේ හිතත් ආසාවෙන් පිරුනා.
හැබැයි මැඩම් ලස්සනයි අනේ..
කියලා මාත් කතාවට එකතු උනා.
හ්ම්.. හස්බන් ගිය සතියනේ රට ඉදං ආවා කිව්වේ ... මේකප් සෙට් එහෙම අලුතෙන් ගෙනත් නැතෑ.. කියලා චමරි හිනාවුනා.
ඇත්තටම .. මැඩම් පව් ශිරො හස්බන් රට ගියා විතරයි ඔය මේකප් සේරම නැවැත්තුවනේ.. පව්... කොච්චර ආදරයක් ඇද්ද...
මටත් ඒ කතාව අහන් ඉන්න ආස හිතුනා. හස්බන් ලා ඉන්න කොටත් පිස්සු නටන ගෑනු ඉද්දි හස්බන් රට ගියාම මේකප් කිරිල්ල පවා නවත්තන අයත් ඉන්නවා එහෙනම් කියලා තාම බැදලා නැති මට හිතුනා.
හස්බන් බනින්න ඇති ඔයාට ගෙනත් දීලත් ගාගෙන යන්නෑ කියලා ..
අපි ටික කිචි කිචි ගෑවට එතන උන්නු හුගක් ගෑනු තම තමන්ගේ හස්බන් ලට හිතෙන් හොදටම දෙහි කපන්න ඇති.
මැඩම් ගේ කාමරේට මට එදා යන්න උනේ ෆයිනල් රිපෝර්ට්ස් වගයකට අත්සන් ගන්න තිබ්බ හින්දයි . හවස තුනහමාර වෙනකං රිපෝර්ට් ට්ක හදාගන්න මාර මහන්සිය ක් උනේ. ඉක්මනින් මැඩම් ගේ කාමරේට ගියේ මැඩම් හය වෙනකං ඔෆිස් එකේ උන්නට අපි ඉතිං හතර වෙද්දී යන්න ඕනේ හින්දයි.
ආ .. ප්රියා.. කම් කම්..
මැඩම් දීසා ද ෆයිනල් රිපෝර්ට්ස් ෆො වෝටර් රිසෝස් ප්රොජෙක්ට්. කැන් යු චෙක් දිස් මැඩම් ...
කියන ගමං මං රිපෝර්ට් ෆයිල් එක මැඩම් ට දුන්නා . මැඩම් කන්නඩි දෙකත් හදාගෙන ෆයිල් එකට සම්පුර්ණ අවදානම දෙන ගමන්ම
ටේක් අ සිට් ප්රියා ..
කියලා අතින් පුටුව පෙන්නුවා. ඉදගත්තු මං මැඩම් ට හම්බවෙච්ච සම්මාන දිහා බලන ගමන් මැඩම් ගේ කරාබු දෙක දිහාත් බැලුවේ ඒක ලස්සන හින්දා . විදිල්ලක් වගේ මං දැක්කේ උදේ දාගෙන ආපු මේකප් හේම වෙලා ගිහිල්ලා තිබුනු මැඩම් ගේ මූනේ රතු පැල්ලමක්.
දෙයියනේ මැඩම් මේකප් ඇලජි එකක් වගේ කියන්න කට හදාපු මං ඒ ඇහිල්ලේ දැක්කේ ඒ රතු පැල්ලමේ තිබුනු ඇගිලි පාරවල් වගයක්. මගේ උගුර හිර උනා.වචන පිට උනේ නෑ. මදු මාලතී රාගයේ ආලාප ස්වර වගයක් ඈතින් කව්රු හරි ආලාප කරනවා වගේ ඇහුනා.
ඕ..කේ ප්රියා.. වෙල් ඩන්..
කියලා මැඩම් කියද්දිම මාව ගැස්සුනා .
තැන්ක්යු මැඩම්...
කිව්වේ මං හීනෙන් වගේ
කැබින් එකෙන් එලියට ගියේ කොහොමද කියලා මතක නෑ. මගේ සීට් එකේ ඉදගත්ත මං නොදැනම අඩලා තිබුනා.
දෙයි හාමුදුරුවනේ ..... මට චමරි ගේ කතාව දෝංකාර දිදී ඇහුනා. ,, හස්බන් රට ගියත් හරි මැඩම් මේකප් කිරිල්ල පවා නැවැත්තුවනේ .... අහ්... ගිය සතියේ ආවා කිව්වනේ....
මාව සීතල උනා.

ෂඩ්වර්ණ

 


මමත් එක්ක තව යාළුවෝ හතර දෙනෙක් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටිය නගින්න යන්න කතා වුනා .පණ්ඩිත කම නේ ...අපේ ගමනේ නායක දිගාගෙ .මැප් එකක්වත් ගෙනියන්ඩ ඕනෙ නෑ කිව්වා ගූගල් මැප් තියෙන නිසා .

නකල්ස් කඳු වැටිය පටන් ගන්න හරිය හරිම ලස්සනයි . දකුණු පැත්තෙන් ලොකුවට පේන්නේ මිටියාවතක් .
අපේ කැන්ඩි ට තිබුණා micro කැමරා එකක්. ඌ එකෙන් ලස්සනට ෆොටෝ ගත්තා .කන්ද නගින්න නගින්න පුදුම ලස්සනක් තිබුනේ .මීදුම පිරිලා .පුංචි පොද වැස්ස මහා මහ අනෝරා වැස්සක් වෙන්ඩ මහා ලොකු වෙලාවක් ගියේ නෑ .අපේ දිගාගෙ පණ්ඩිතකමට අබ සරණක් වෙන්න ජංගම දුරකථන වල සිග්නල් එහෙම්පිටින්ම නැතිවෙලා ගියා .මෙහෙන් යකෝ මෙහෙන් මං කී පාරක් මේ පාරේ ගිහින් තියෙනවද ,,කිය කියා දිග අපිව එහෙන් මෙහෙන් එහෙන් මෙහෙන් එක්කගෙන එක්කගෙන යන්න ගියා .දිය ඇල්ලක් ගාව නැවතිලා ඔලුව කස කසා වටපිට බලනකොට මටනම් තේරුණා වැඩේ දෙල් වෙලා කියලා .
දැන් වෙලාව රෑ හතයි . මහා කුණු වැස්සේ ගහක් යටට වෙලා අපි කට්ටිය ගුලි වෙලා හිටියා .හවස හතර වෙද්දි ආපහු පල්ලම් බහින කියලා හිතාගෙන හිටියට ඒ කිසි දෙයක් කර ගන්න හම්බුනේ නෑ අතරමං විල්ල හින්දා .දැන් දිගාව කොට වෙනකන් අනික් උන් බනිනවා .උදේ උනහම මොනවා හරි කරමුයි කියලා දැන් දිගා හැමෝම සනස සනසා ඉන්නවා. වෙලාව පාන්දර එක හමාරයි. වැස්ස පොඩ්ඩක් විතර අඩු වෙලා තිබුනා. සීතල කියලා නිම කරන්න බෑ .අපේ කැන්ඩි
ආං ආං බලපං කියලා පල්ලෙහාට අත දික්කරලා කෑ ගහනකොට අපි හැමෝම බැලුවා.
කවුරුත් ඉන්නවද අපි කොත්මලේ හමුදා රෙජිමේන්තුවෙන්.....
අමාරුවේ වැටුන වෙලාවට උදව් වෙන්නෙත් අටපාස් එවුන් තමයි කියලා ඒ වෙලාවෙත් කට අඩුවෙලා තිබුනෙ නැති දිගා නැගිට්ටා .
නොදන්න පාරවල් වල බඩගාන්න ගිහිල්ලා මගෙයි නැල්ලිගෙයි දනිස් ලෙලි ගිහිල්ලයි තිබුණේ .සිතල වැඩි කමට කැන්ඩිගේ සෙම අමාරුව වැඩි වෙලා ගිනි කබලට උනා අරගෙන තිබුණා .බර කෑම කාලා කඳු නගින්න බෑකියලා දිගා කියපු නිසා ප් වෙලා තිබුණා .
ශඩ්..ඒක අමුතු නමක් නේද... කෝකටත් උඹ වැඩිය ඒ ගැන නොහිතා ඉදපංකෝ... ඌ මුස්ලිම් ද දන්නෙත් නෑ නේ ....
කියලා නැල්ලි එහාපැත්තේ ඇදේ ඉදං අමාරුවෙන් කෙඳිරි ගගා මට උපදෙස් දුන්නා .මට හිනත් ගියා .
ලෙඩ්ඩු බලන වෙලාව නොවුනත් ශඩ් තවත් නිලධාරීන් දෙන්නෙක් එක්ක අපිව බලන්න ඇපල් මල්ලකුත් අරගෙන හොස්පිට්ල් එකේ වාට්ටුවට ආවා .
අව් කන්නාඩි දෙකක් දාගෙන හිටපු ශඩ් හැබෑම ලස්සනයි .අපි ඔයාලගේ අනිත් යාලුවො දෙන්නත් බලන්න එහා පැත්තෙ වාට්ටුවට ගියා .හෙට දිහා ආපහු හොස්ටල් යන්න පුළුවන් වෙයි... ටිකට් කපයි ... හොස්ටල් ගිහිල්ලත් දවස් දෙක තුනක් යනකං මට ශඩ්ව අමතක කරන්න අමාරු වුණා .ඉවසන් ඉන්න බැරිම තැන මම කොත්මලේ රෙජිමේන්තුවේ නොම්බරය හොයාගෙන කතා කළා .
could i speak to major shad....
who is speaking madam ....
මම එතුමාගේ යාළුවෙක් මට එතුමාට කතා කරන්න ඕනේ ..
මැඩම් අහන්නේ මේජර් ශඩ්වර්න කුලතුංග ගැන නේද ....extremely sorry madam..එතුමා ඊයේ අවුරුද්දක පුහුණුවකට ඇමරිකාවේ ගියා .බලාපොරොත්තු මල්ල ම කැඩිලා බිඳිලා ගිහිල්ලා ගංගාවන් හතක් ඔලුව උඩින් ගලාගෙන ගියා වගේ මට දැනුනා .ආපහු සැරයක් කොත්මලේ රෙජිමේන්තුවට කතා කරපු මම එතුමගෙ පෞද්ගලික දුරකථන අංකය දෙන්න පුලුවන්ද කියලා ඇහුවා .පෞද්ගලික දුරකතන අංක නං දෙන්න බැහැ පුහුණුවට ගිය ඇමෙරිකානු හමුදා මූලස්ථානය නොම්බරය දෙන්නං කියල දුන්න .දවස් ගානක් ගානක් මහන්සි වෙලා අදාල නොම්බර හොයාගෙන අදාල අයට කතා කරලා මේජර් ෂඩ්වර්ණ කුලතුංගට කතා කරන්න එපොයිමන්ට් එකක් දාගන්න මට සති දෙකක් විතර ගියා .ඒ සති දෙකේදි ශඩ් මහා ශක්තිමත් පාදමක් මගේ හිතේ දාලා තිබුනා..ඒ ජවය ශක්තිය , අබිමානය මං කැම්පස් එකේ කිසිම පිරිමි ලමයෙකුගෙන් දැක්කේ නෑ..

මං කවුද කියලා අඳුන්වල දුන්නම මේජර් ෂඩ්වර්ණ ට ලොකු හිනාවක් ගියා..ඔව් මට පුහුණුවකට එන්න වුණා.අවුරුද්දක් කිව්වට ඕක තව දික්වෙයි .මේ ටිකේම ට්රයි කලේ වයිෆ්වයි බබා වයි කොහොමහරි මෙහාට ගෙන්න ගන්න...ඉතිං රසාදරී .... ආයිත් කඳු නගින්න එහෙම ගියේ නැද්ද ....එහෙම අහපු ෂඩ්වර්ණ හයියෙන් හිනා වුණා .මමත් එයත් එක්ක හිනා උනා .කතා කරලා ඉවර වෙලා දුරකථනය විසන්ධි කරද්දි මම හොඳටම අඩලා තිබුණා .ඒ කඳුළු කවුරු වෙනුවෙන්ද ..මෙහෙ තනි වෙලා ඉන්න ෂඩ්වර්ණ ගෙ බිරිඳයි දරුවයි වෙනුවෙන් ද .......
සදාකාලික හදවතේ කටුවක් ඇනී ඇනී ඉතුරු වෙච්ච මං වෙනුවෙන් ද .....

මහත්තයා මට සමාවෙන්න

 
මම නාලා එන ඩිංගට සිරිපාල කළු මැණිකා ව ගේ ඇතුලට අරගෙන තිබුණා. මට ඉහිලුම් නැතිව ගියා .එවෙලෙම අතට අහුවෙච්ච රෙදි පොට්ටනියත් අරගෙන ජෝසප් අයියට කිව්වා මාව කොහේ හරි ගිහින් දාන්න කියලා .එතකොට තමයි ජෝසප් අයියා කිරුළපනේ මේ මහත්තයාගේ ගෙදරට මාව ගෙනල්ල දැම්මෙ.

ඒ මහත්තයයි නෝනයි රත්තරන් කඳ වල් .ඒ නෝනා මහ ඉස්පිරිතාලෙ මිසී කෙනෙක්. මහත්තයා ඉස්කෝලේ ගුරුවරයෙක් .හරිම කරුණාවන්තයි. කවදාවත් මේ මහත්තයා මං දිහා ඇහැක් ඇරලා නරක විදිහට බැලුවෙ නෑ.
හැම පිරිමියාම සිරිපාල වගේ කියලා හිතපු මට මට වැරදුනා..
නෝනයි මහත්තයයි බැඳලත් අවුරුද්දකට වඩා නෑ .තවම ළමයි හිටියෙත් නෑ. ඒ දෙන්නා හරිම සන්තෝසෙන් තමයි හිටියෙ .මට තිබුණේ ඒ ලස්සන ගෙදර සුද්ද කරල උයලා පිහලා පිලිවෙලට තියන්න විතරයි .මාසේ අන්තිමට මම අම්මට සල්ලි ඇරියා.නෝනා හැමදාම වැඩට ගියා. දවසක් ඇර දවසක් රෑ වැඩ වැටිලා තිබුනා. පළවෙනි දවස් වල මට පුදුම හිතුනා ගෑනියෙක් එක්ක තනියම මහත්තයව මේ නෝනා බය නැතුව දාලා යන්නේ කොහොමද කියලා. මහත්තයා පෙරාපු රත්තරන් කියලා මට තේරෙන්න ටික දවසක් ගියා .කවදාවත් මම දිහා වැරදි ඇහැකින් බැලුවෙ නැති බව නං දිවුරලා කියන්න පුළුවන්. හරියට පොඩි ළමයෙක් වගේ.
කුසුමේ මට තේ එකක් හදල දෙන්න පුලුවන්ද.....
අනේ කුසුමියේ තුවාය අරන් දෙන්න පුලුවන්ද...
කුසුමේ මගේ පන්ති පොත් දැක්කද ...
කුසුමෙ කොහෙද මගේ සෙරෙප්පු දෙක,...
අපේ මහත්තයා නාලා ආවම හරි සුවඳයි. ඕඩිකොලොන් සුවඳක් මගේ නහය පුරාවටම ගලාගෙන යනවා.අපේ නෝනත් හරිම කරුණාවන්තයි.
මට ආදරෙයි .නෝනා හැන්දෑවෙ ගෙදර ඉන්න දවස් වල හුඟක් වෙලාවට එයාලා රෑ කෑමට එළියට ගියා .මගේ පංගුව අනිවාර්යෙන්ම අරගෙන ආවා.
නෝනා රෑ වැඩ දවස් දවස් වලට මහත්තයා කෑම කාලා කුසුමේ ඔයා කුස්සිය අස් කරල කරලා නිදාගන්න යන්න කියලා මහත්තයා ගෙවල් දොරවල් වහලා කාමරේ ඇතුලට ගිහිල්ල දොර වහ ගන්නවා.
කවුරුවත් නොදන්නව වුණාට මං මහත්තයාගේ දොර ගාවට ගිහිල්ලා මහත්තයා හුස්ම ගන්න සද්දේ පැයකට වඩා අහගෙන ඉන්නවා.
කුසුමේ කුසුමේ කියලා මගේ නම මහත්තයා කියන හැම වෙලාවකම මගේ හිත ගැස්සෙනවා. මේ තරම් රත්තරන් පිරිමි පරානෙක ආදරේ ලබන්න අපේ නෝනේ කොයි තරම් පින් කරලා ඇද්ද කියල හිතෙනවා .එහෙම හිතුන හුඟක් වෙලාවල් වල මට මං ගැනම දුක හිතුනා. සිරිපාල අපිත් එක්කම එකට කිරි කපපු කොල්ලෙක්. සිරිපාල මගෙන් ඇහුවේ යංද කියලා විතරයි. ඒක කොලේක ලියවිච්ච වත් කසාදයක් නෙමෙයි .යන්තම් ටකරන් අටවගත්ත ඒ පැල්කොටේ මොන ගෙයක්ද. මාව ගෙනල්ල මාසෙකින් සිරිපාල තවත් ගෑනියෙක් ගෙදරට ගෙන්න ගත්තා. අම්මල තාත්තලත් එපයි කියලා සිරිපාලත් එක්ක ආපු මට ඒ වේදනාව ඉවසගන්න බැරි උනා .කහට උගුරක් බීලා හරි සිරිපාල මාත් එක්ක උන්නා නං මමත් සිරිපාලට ඇත්තටම ආදරෙන් ඉන්නවා. හුඟක් වෙලාවට නෝනා උදේ ගෙදර එනකොට මං මහත්තයාගේ වැඩ සේරම කරලයි තියෙන්නේ. කන්ඩ හදලා තේ එක දීලා මහත්තයා ඉස්කෝලෙට යන ඇඳුම් පවා මැදලා සපත්තු පොලිස් කරලා ඒ සේරම ඉවර කරලයි තියෙන්නේ.
වැලේ රෙදි ගෙට ගන්න කොටත් මහත්තයාගේ ඇඳුම් ඉස්සෙල්ලම අරගෙන ගෙට දාන එක මගේ පුරුද්දක්. නෝනා නං ඒ වෙලාවට මට ඇනුම්පද කියනවා .
මහත්තයා කොයි තරම් රෑ වෙලා ගෙදර ආවත් මම දොර ළඟ බලාගෙන ඉන්නවා.
ආහ් .. කුසුමේ මං එනකන් බලාගෙන හිටියද... කියලා හැමදාම මහත්තයා අහනවා .මට කවදාවත් නිවාඩුවට ගෙදර යන්න හිතුනෙ නෑ ..මහත්තයාගේ වැඩකටයුතු නෝනා අතින් අඩු පාඩු වෙයි කියලා හිතේ මොකක්දෝ සැකයක් තිබුණා. කවුරුත් නොදන්නවා උනාට මහත්තයාගේ ඇඳුම් මදින වෙලාවට ඒ ෂර්ට් අත අල්ලගෙන මං කොයිතරම් පපුවට තියාගෙන ඉන්නවද .හුඟක් දවස් වලට මහත්තයා හැන්දෑවට මට පොල් ගාලා දෙනවා .අනේ මහත්තයා මම කරගන්නම් මහත්තයා ගිහිල්ලා වැඩක් කරගන්න කිව්වට කවදාවත් මාව දාලා කුස්සියෙන් යන්නෙ නෑ .නෝනා ගෙදර ඉන්න හැන්දෑ වරුවල් වල දෙන්නම එකතු වෙලා මල් පැළ හදනවා. එහෙම දවසට පුරුද්දට වගේ මම ජනේලෙන් බලනවා ..අද පොල් ගාන්න එන්නේ නැද්ද කියලා.
දවසක් මහත්තයා මගෙන් අහනව ..
කුසුමෙ කුසුමෙගේ මෙච්චර දිග කොණ්ඩයක් තියෙන කොට සිරිපාල ඒක ගොතන්න හැදුවේ නැද්ද කියලා..
මට හයියෙන් හිනා ගියා .මහත්තයා පොඩි ලමෙක් වගේ අහන දේවල් වලට මට හරියට ......මට තේරෙන්නෑ ඒක කියන්න .....
කොන්ඩෙ ගෙතිල්ල කෙසේ වෙතත් මහත්තයා ..... සිරිපාල තුන් හතර වතාවක් ඒක පටලලා අරගෙන හොඳට තඩි බාලා නම් තියෙනවා කියලා මම හිනා උනාට පපුව ඇතුලෙන් හරියට ඇඬුවා .සිරිපාල එක සැරයක් මාව හොයාගෙන ආවා .මහත්තයාගේ ලඟින් එන ඕඩිකොලොන් සුවඳ වෙනුවට සිරිපාල ගාවින් මට ආවෙ සැර දාඩිය ගඳ කුයි කසිප්පු ගඳකුයි .මම එන්න බැහැ කියලා සිරිපාලව ආපහු පිටත් කරලා ඇරියා .දවසක් නෝනා වේලාසන ගෙදර ආවා. අද අපේ වෙඩින් ඇනිවසරි එකනේ කුසුමා ..කියලා කාමරේ හරිම ලස්සනට හැදුවා. ඩබල් ඇඳට තනි සුදු ලස්සන රෙද්දක් එලලා අලුතෙන් කොට්ට උර පවා දැම්මා .ඕව දැකල නැති මම දොරට හේත්තු වෙලා ඔහේ බලාගෙන උන්නා. නෝනගේ රෝස මල් පාත්තියෙන් අලුත්ම රතු රෝස මලක් ගෙනල්ලා පෙති කඩලා ඇදටත් ඉස්සා.
එදා රෑ කෑමට දෙන්නම එළියට ගියා. ඒ දෙන්න එන්න රෑ වෙච්ච හින්ද මට එහෙම්ම නින්ද ගිහින් තිබුණා .උදේ පාන්දර නෝනා ආපහු වැඩට ගිහින් තිබුනෙ හදිසි සැත්කමකට ඉක්මනින්ම ඉස්පිරිතාලෙන් කැඳවලා තිබුණ හින්දා .මහත්තයත් වේලාසනින්ම ගෙදරින් පිටවුණේ හදිසි ටියුෂන් ක්ලාස් වගයක් තියෙනවයි කියලා.
කාමරේ අස් කරන්න මම ඇතුලට ගියා. ඇඳ රෙද්ද බොහෝම පොඩි වෙලා ගුලි වෙලා තිබුනා. රතු රෝස මල් පෙති තැලිලා විසිරිලා බිමට හැලිලා තිබුණා. ටික වෙලාවක් ඒක දිහා බලාගෙන හිටපු මට පපුව කොනිත්තනවා වගේ දැනුනා. ඉවසගන්න බැරි ඉරිසියාව මාව යක්ෂණියක් කළා. පැයක් විතර දොරට හේත්තු වෙලා අඬ අඬා උන්නු මම අන්තිමේ ගන්න තියෙන දරුණුම තීරණයක් ගත්තා. නෝනම මට ගෙනල්ලා දීලා තිබුණු ලස්සන
යට ඇදුමක් ගුලිකරලා ගුලි කරලා මම මහත්තයාගේ කොට්ටෙ යටින් තිබ්බා.අද නෝනා මහත්තයා ට කලින් ගෙදර එන බව මං ඉන්තේරුවෙන්ම දැනගෙන උන්නා. තවත් ඒ ගෙදර ඉන්න බැහැයි කියල හිතුන හින්දා අතට අහුවෙච්ච මගේ රෙදි ටිකත් අරගෙන මම පාරට බැහැලා ආවා.
මහත්තයා මට සමාවෙන්න .